ගිනි තැබීමේ ආශ්වාදය විඳින්නෝ !

0

ගිනි තැබීමේ ආශ්වාදය විඳින්නට අප සූදානම් නැත. ගින්නෙන් විනාශ වූ මනුෂ්‍යත්වය සහ ආදරය දැක හූල්ලන්නට ද අප සූදානම් නැත. තියෙන දෙයක් උයාගෙන කන ගිනි තැබූවන් නීතියට අනුව වරදක් කර ඇත. එහෙත් අප ඔවුන් සදාකාලික අපරාධකරුවන් කරන්නට ද සූදානම් නැත. ඒ වෙනුවට බලය පවත්වා ගැනීම වෙනුවෙන් රට ගිනි ගොඩක් කරන්නට උත්සාහ කරන දේශපාලනඥයන්ගේ නිරුවත හෙළිදරව් කළ යුතුය.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු සමස්ත ප්‍රජාවක් ත්‍රස්තවාදීන් කිරීමේ මෙහෙයුමක් දියත් විය. ත්‍රස්තවාදයට සහාය දුන් ලොක්කන් සඟවන මෙහෙයුමක් ද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය. මාධ්‍ය ඔස්සේ ආරම්භ කෙරුණු මේ මෙහෙයුමේ එක් කොමාවක් පසුගිය සඳුදා, අඟහරුවාදා දින වල කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය, හෙට්ටිපොල, කොබෙයිගනේ, නිකවැරටිය, රස්නායකපුර, බිංගිරිය ප්‍රදේශ වලින් වාර්තා විය. පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත නගරයත්, ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය ප්‍රදේශත් එහි ගොදුරු විය.

ගිනි තැබීමේ ආශ්වාදය විඳි ඇතැමුන් දැන් මෙසේ කියති.

‘ඊළඟට අපි මොකද කරන්නෙ?‘

බලය පවත්වා ගැනීම සඳහා කළ කෘර මෙහෙයුමක ඉත්තන් පිරිසක් වූ ඔවුන් දැන් අනාථ ය. යන-එන මං නොමැතිව ඔවුහු හූල්ලති. ඒ අතර මෙසේ කියති.

‘ගහන්න දවස් දෙකකට කලින් බිංගිරියේ කිනියම වැව කිමිඳුම්කරුවො දාලා හමුදාවෙන් සම්පූර්ණයෙන් පරීක්ෂා කළා. මොකුත් හම්බුණේ නෑ. මං හිතන්නේ මුළු වරුවක්ම ඒකට ගියා. ඒක කළේ ඔය වැවේ ආයුධ හංගලා ඇති කියලා අපේම කට්ටිය කරපු පැමිණිල්ලක් නිසා. ඊට පස්සෙ හමුදාවෙ කට්ටිය කියලමයි ගියෙ, සැකයක් තියාගන්න එපා, අපි සම්පූර්ණයෙන් වගකීම ගන්නවා කියලා.‘

එහෙත් කෘර මෙහෙයුම් එසේ අවසන් වන්නේ නැත.

‘ගහපු දවසෙ හවස ඒ වැවේ තිබිලා හොඳට ඔතපු පතුරම් පනහක්-හැටක් විතර තියෙන පාර්සලයක් හොයාගෙන තිබුණා. ඒකට හමුදාවෙ හරි පොලීසියෙ හරි කවුරුත් ඇවිත් තිබුණෙ නෑ. ගමේ කීපදෙනෙක් තමයි ඒක හොයාගෙන තිබුණෙ. එදාම තමයි ගැහුවෙ.‘

හමුදාවේ කිමිඳුම්කරුවන්ට සොයාගත නොහැකි වූ, තරමක් ලොකු පාර්සලයක් හදිසියේ වැවෙන් මතු වී ඇත.

‘මිනිස්සු අවුස්සන්න ඕවා පිටින් ගෙනැත් දැම්මද කියලා හැමෝටම දැන් සැකයි.‘

ඒ කියන වැව ආසන්නයේ ය, පුවක්ගහකඩවල, කිනියම ගම්මාන පිහිටා ඇත්තේ. එහි ඉස්ලාම් ආගමික ස්ථාන තුනකට පහර දී ඇත. යතුරු පැදි විස්සකට වඩා පුළුස්සා ඇත.

බලය පවත්වාගැනීම වෙනුවෙන් කරන කෘර මෙහෙයුම් වලදී ඔබේ / මගේ ජීවිතය, දේපොළ, සමාජ සම්බන්ධකම් නැති වීම අදාළ ම නැත. ඔවුන්ට ඇත්තේ ඉලක්කයකි. ඒ වෙනුවෙන් භීතිය, සැකය, අවිශ්වාසය වැපිරිය යුතුය.

පහරදීමේ සිදුවීම් වලට දිනකට පෙර, එනම් 12 රාත්‍රියේ හෙට්ටිපොල, විල්බාගෙදර පාසල ආසන්නයේ සැකකටයුතු ලෙස පුද්ගලයෙක් ගැවසී ඇත. ප්‍රදේශවාසීන් කිහිපදෙනකු ඔහු පස්සේ එළවා තිබේ. යතුරුපැදියකින් වේගයෙන් පළායෑමට උත්සාහ කළද, ඔහු අල්ලාගන්නට ප්‍රදේශවාසීන්ට හැකි විය. ඊට හේතුව ඔහු ඒ ප්‍රදේශයේ පාරවල් පිළිබඳව කිසිවක් දැන නොසිටීමයි. වළවල් සහිත වෑකන්දක පාරකට ඔහු හරවා ඇත. එහි කොහොමත් යතුරු පැදියකට ගමන් කළ හැක්කේ ඉතා අසීරුවෙන් බව ප්‍රදේශවාසීහු කියති. තමන්ගේ වේගය පාලනය කරගත නොහැකි වූ මේ පුද්ගලයා වැවට පෙරළී ඇත.

ප්‍රදේශවාසීන් ඔහු අල්ලාගෙන පරීක්ෂා කිරීමේදී බැටරි කෑලි කිහිපයක් සහ පරණ වූ වයර් කෑලි කිහිපයක් ඔහු ළඟ තිබී ඇත. අවිශ්වාසය සහ සැකය එල්ල වී ඇති ප්‍රජාව නියෝජනය නොකළ ඔහු, මහා ප්‍රජාවේ සාමාජිකයෙකි. ඔහු පවසා ඇත්තේ පාසල තුළට යෑමේ අපේක්ෂාවෙන් පැමිණි බවයි. ප්‍රදේශවාසීන් විසින් මේ පුද්ගලයා හෙට්ටිපොල පොලිසියට භාර දී ඇත.

මොහුට කුමක් කළේද යන්න පිළිබඳව විමසීමට හෙට්ටිපොල පොලිසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළද, ඔහු අතිශය කාර්යබහුල විය.

ගිනි තැබීමේ ආශ්වාදය ලබන්නන් ‘ඊළඟට අපි මොකද කරන්නෙ‘ කියන ප්‍රශ්නය අහන්නේ මේ වගේ තත්ත්වයක් යටතේ ය.

දුම්මලසූරිය, ඇතුන්ගහකොටුව කුඩා නගරයේ කඩ කිහිපයක් වසා දමන ලෙස ත්‍රීරෝද රථ රියැදුරන් පිරිසක් පැමිණ තර්ජනය කර ඇත. කඩ හිමියන් ඒ සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසියට පැමිණිලි කර තිබේ. ඉන්පසු පොලිසියෙන් අදාළ තර්ජනය කිරීමට පැමිණි කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් සමග පැමිණි පිරිසක් ඔවුන් නිදහස් කරන ලෙස බලපෑම් කර තිබේ. එහෙත් පොලිසිය ඔවුන් නිදහස් කර නැත. ඉන්පසුව කිසියම් පිරිසක් කඩවලට පහර දී තිබේ.

සිදුවීම් පෙළගැසුණේ ඔය ආකාරයට ය. බිංගිරියේ, කිනියම සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරන ලෙස බලපෑම් කරමින් පිරිසක් විරෝධතාව දැක්වීම නිසා ඔවුන් හෙට්ටිපොල පොලිසියට යවා ඇත. ඒ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් අනුව ය. ඉන්පසු හෙට්ටිපොල ගිනි තැබිණි.

හෙට්ටිපොල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් පසුවද, කඩ වලට පහර දී ඇත. පඬුවස්නුවර, කොටඹපිටිය ප්‍රදේශයේ තත්ත්වයද ඒ ආකාර ය. යතුරු පැදි සහ ත්‍රීෙරා්ද රථ වලින් පැමිණි සිය ගණනක් හෙට්ටිපොල නගරයේ කරක් ගසමින් සිටියේ ඇඳිරි නීතිය තිබියදීය. පොලිසිය බලා සිටියදීය. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැන්නන් කියන ආකාරයට සද්භාවයෙන් මේ පහරදීම් නතර කරන්නට පැමිණ සිටි වෙලාවේ ය. කියන්නාට ඕනෑ දෙයක් කිව හැකිය. තීරණය ඇත්තේ නිරීක්ෂකයන් අතේ ය. මන්ත්‍රීවරයා නීතිය අතට ගන්නට උත්සාහ කළ බවට චෝදනා එල්ල වේ. ඒ සැකකරුවන් මුදාගැනීම සඳහා ය.

මේ පහරදීම් වලට සම්බන්ධ වූවන්ගෙන් අති බහුතරය පිටතින් පැමිණි පිරිස් බව තහවුරු වී තිබේ.

ඔබට මතක් විය යුතුය. 2018 මාර්තු මාසයේදී මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, තෙල්දෙණිය, අකුරන, අඹතැන්න, මැණික්හින්න ප්‍රදේශ වල මේ ආකාරයේම ගිනි තැබීමේ ආශ්වාදය විඳින්නන්ගේ මෙහෙයුමක් ක්‍රියාත්මක විය. කඩ සිය ගණනක් ගිනි තැබිණි. පුද්ගල ජීවිත කිහිපයක්ද නැති විය.

ඔවුන් මුලින්ම කළේ අදාළ කඩවලට ජලය සපයන නළ මාර්ග කඩා දැමීම ය. ඒ කියන්නේ කරන්නට හැකි නරුම ම තැනින් ය, වැඩේ පටන්ගත්තේ.

‘ගිනි නිවාගන්න බැරිවෙන්න තමයි ඔය විදිහට ටැප්ලයින් කඩලා දාලා තියෙන්නෙ. කොච්චරතිරිසන්ද පුතේ?‘

අඹතැන්නේ තාත්තා කෙනෙක් එදා අපට කිව්වේ එසේය. ඔහුගේ ජාතිය කුමක්දැයි අසන්නට අපට වුවමනා වූයේ නැත. ඔහු හරි තැන හිටගෙන සිටියේය. 2018 මාර්තු 05 වැනිදා මැණික්හින්නේ ආගමික ස්ථානයකට ගල් ගසා පහර දී, ඉන්පසු ගිනි තබන්නට උත්සාහ දරා තිබිණි. ඒත් ගින්න ඔවුන් සිතූ තරම් ඇවිළී තිබුණේ නැත. ඒ සියල්ල සිදු වී තිබුණේ මේ අවුරුද්දේ මැයි මාසයේ වගේම ඇඳිරී නීතිය පනවා තිබියදීය. පොලිසිය බලා සිටියදීය.

පසුගිය සතියේ වගේම ය. මහනුවර – දිගන සිද්ධිය වෙලාවේද පිටින් පැමිණි පිරිස් රැසක් වූහ. යතුරු පැදි සහ ත්‍රීෙරා්ද රථ එහිද බහුල විය. මහනුවරට අයත් නොවන, වෙනත් පළාත්වලට අයත් යතුරු පැදි රැසක් ඇඳිරි නීතිය පනවා තිබියදී පවා එහෙ-මෙහෙ යනු අපට දැකිය හැකි විය.

දැන් වගේමය. අඹතැන්නේ ආගමික ස්ථානයක රැස්ව සිටි පිරිසක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසු ඒ ස්ථානය පරීක්ෂා කෙරිණි. එහි කඩු සහ පොලු සිය ගණනක් විය. ඒ පහර දුන් පාර්ශ්වයයි.

සිදුවීමෙන් දිනකට පසු මහනුවර ගිය අප දුටුවේ අම්මලා-තාත්තලා තමන්ගේ දරුවන්ගේ වයසේ පිරිස් ඉදිරියේ බැගෑපත් වන අයුරු ය. ඒ තීරණාත්මක ප්‍රශ්නය අසන අයුරු ය.

‘අනේ පුතේ මේවා නවත්තන්න. මේවගෙන් අපේ පළාත්වල තියෙන සමගිය නැත්තටම නැති වෙනවා. මේවගෙන් අපිට මොනවද ලැබෙන්නෙ?‘

අද වන විට, හෙට්ටිපොල, කුලියාපිටිය, මිනුවන්ගොඩ ආදී පහරදීම් සිදු වූ ප්‍රදේශ වල බහුතරය මේ කතාවම කියයි. ජන ජීවිතය තවමත් අවුල් වී ඇත. දරුවන්ට පාසල් යන්නට නොහැකිය. ආරක්ෂක අංශ ආරක්ෂාව පිළිබඳ සහතික දුන්නත්, අම්මලා දරුවන් පාසල් යවන්නේ නැත. ඒ මාධ්‍ය මගින් වැපිරූ භීතියේ තරමයි.

කල්මුනේ වැටළීමකදී ත්‍රස්තවාදීන් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදු වූ බව ඔබට මතක තිබිය යුතුය. ඊට හේතුව ඇතැම් මාධ්‍ය ‘බ්‍රේකින් නිව්ස්‘ ලෙස ඒ පිළිබඳව යළි-යළිත් ජනතාවට කීමය. එහිදී ආරක්ෂක අංශයේ පිරිසක් මිය ගිය බවට පියල් නිශාන්ත මන්ත්‍රීවරයා රූපවාහිනියේ සජීවී වැඩසටහනකදී ප්‍රකාශ කළේය. එහෙත් එය සම්පූර්ණ අසත්‍යයකි.

ජනතාව අතර ගැටුමක් ඇවිළවීම ඔහුගේ අරමුණ විය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු වූයේ ඔහුගෙන් ප්‍රකාශයක් ගෙන ගෙදර එවන්නට ය. ඔහු අත්අඩංගුවට ගැනීමට ඕනෑවටත් වඩා සාක්ෂි තිබියදී, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.  එසේ සිදු වූයේ ඇයි?

ඉන්පසුව එක දිගට කඩු ඇතුළු ආයුධ අත්අඩංගුවට ගත් බවත්, සැකකටයුතු පුද්ගලයන් සිය ගණනක් අත්අඩංගුවට ගත් බවත් මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. එහෙත් යුද හමුදාපතිවරයා විසින්ම පැවසුවේ ඒවායින් ජනතාව භීතියට පත් වූ බවත්, ඒවායින් බහුතරය අසත්‍ය බවත් ය. කඩු ඇතුළු ආයුධ සීමිත ප්‍රමාණයක් පමණක් අත්අඩංගුවට ගත් බවත්, ඒ අතරිනුත් සමහර ඒවා මළකඩ කෑ ඒවා බවත් කිව්වේද යුද හමුදාපතිවරයා ම ය. සැකකටයුතු පුද්ගලයන් ලෙස හඳුන්වමින් අත්අඩංගුවට ගත් පිරිස් අතරින්, අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති සුළුතරයක් හැර අනෙක් පිරිස් ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු නිදහස් කර ඇත.

මේ ජාතියේ උදාහරණ රැසකි. මාතර, දික්වැල්ලේදී ජංගම දුරකතනවලට යොදන සිම් කාඩ්පත් තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිසියෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු නිදහස් කර තිබේ. ඔහු තමන් ඒවා අලෙවි කරන්නකු බව තහවුරු කර ඇත. එම ප්‍රදේශයේදීම රෙදි තොගයක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගේ තත්ත්වයද මීට සමාන ය. ව්‍යාපාරිකයකු බව තහවුරු කිරීමෙන් පසු ප්‍රකාශයක් ලබාගෙන ඔහු නිදහස් කර ඇත. හක්මන, කිරින්ද ප්‍රදේශයේදී වල්ලපට්ටා තොගයක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට ඇප දීමට, හම්බන්තොටින් පැමිණි අයෙකු අත්අඩංගුවට ගෙන, පසුව මුදා හැර තිබේ. හක්මන, මීඇල්ලේදී පාස්පෝට් තොගයක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු, තමන් පුද්ගලයන් විදේශ රටවලට යැවීමේ ව්‍යාපාරයක් කරන බව සඳහන් කොට, එම පාස්පෝට් වල අනන්‍යතා තහවුරු කිරීමෙන් පසු නිදහස් කර ඇත.

දෙනියාය ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනෙකු ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසු මුදාහැර තිබේ. කොටපොළ මහා විද්‍යාලයේ පැවැති ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමකදී දෙනියාය පොලිස් ස්ථානාධිපතිවරයා විසින්ම පවසා ඇත්තේ මෙම ප්‍රවෘත්ති සම්බන්ධයෙන් බියට පත් නොවන ලෙසයි. එසේම ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් තමන්ගේ පොලිසියේ නම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවා ගන්නටද මේ ජාතියේ උපක්‍රම යොදා ඇත. එහෙත් මාධ්‍ය කිසිවක් ඒ නිදහස් කිරීම් ගැන කිව්වේ නැත. ඒ නිසා ජනතාව භීතියට පත්වීම සාධාරණ ය.

පහරදීම් වලට දින තුනකට පෙර මධුමාදව අරවින්ද ඇතුළු පිරිසක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ආගමික ස්ථාන රැසකට ගොස් ජනතාව කුපිත කරවන ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් වන වීඩියෝ සාක්ෂි පවා පොලිස් විමර්ශකයන් සතුය. ඒ මධුමාදව අරවින්දමය, මිනුවන්ගොඩ පහරදීම් සහ කඩ වලට ගිනි තැබීම් සිදු වන විට ඒ ආසන්නයේ පාරවල් වල ඇවිදිමින් සිටියේ. ඔහුත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වන ආකාරයටම ‘පහරදෙන්න එපා නවත්තන්න‘ කියන්නට ආවාද දන්නේ නැත. ඇතැම් විට ඔහුටද විරාම ලක්ෂණ ගැටළුවක් මතුවූවා කියා ඉදිරියේදී කියන්නට හැකිය.

හරියටම හලාවත සිදුවීම සිදු වූවා වගේමය. එහිදී යම් පුද්ගලයෙකු ෆේස්බුක් සමාජ ජාලයේ ඉංග්‍රීසියෙන් දැමූ සටහනක විරාම ලක්ෂණ අවුල් කරගනිමින් සිංහල පරිවර්තනයක් කරගෙන තිබිණි. ඒ නිසා නගරයක් ඇවිළිණි. ඇඳිරි නීතිය පැනවිණි. එය දිස්ත්‍රික්කයක් ඇවිළවීමට සමත් විය. කුමන තත්ත්වයක් යටතේ හෝ ඇඳිරි නීතිය පැනවීම යනු ජන ජීවිතය අඩාල වීමකි.

ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පනවන මේ ඇඳිරි නීතිය තිබියදීත් අපරාධ සිදු වන්නේ නම්, ඊට අනිවාර්යෙන්ම ආණ්ඩුවේ මැදිහත්වීමක් තිබිය යුතුය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හාතාපොළ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ තොග බඩු කඩයකට පහර දී තිබුණේ ඇඳිරි නීතිය පනවා තිබියදී 13 දා රාත්‍රී එකට පමණ ය. මේ මැදිහත්වීම සිදු කරන්නට පෙර, ආරක්ෂක අංශ වලින් හරියට රාජකාරි කෙරිණි. ඔවුහු නිල ඇඳුමෙන් කළ යුත්ත කළහ. ගිනි තැබීමේ ආශ්වාදය විඳින්නට කැමැත්තෙන් සිටි පිරිස් පවා අකමැත්තෙන් වුවද, ඊට අවනත විය. එහෙත් ආණ්ඩුවේ මැදිහත් වීම සිදු වූ විට ඒ සියල්ල කණපිට හැරිණි. ආරක්ෂක අංශ වලට දිගනදී මෙන්ම යම් කාලයක් යන තුරු පාඩුවේ සිටින්නට සිදු විය. අර අවනතවූවෝ නීතිය තමන් අතට ගත්හ.

අප්‍රේල් 21 සිට භීතිය වැපිරවූයේත්, ඔළු හේදුවේත් මේ ටික කරන්නටය. ගිනි තැබීමේ ආශ්වාදය  දැන් තාවකාලිකව අවසන් වී ඇත. ගිනි තැබූවෝ පවා ඊළඟට කරන්නේ කුමක්දැයි නොදැන බලා සිටිති. අම්මලා දරුවන් හංගන්නට හදති. තාත්තලා තියෙන ටික පරෙස්සම් කරගන්නට හදති. අසල්වැසියාගේ නිවසට පහර දෙන විට තමන්ගේ ගෙදර දොර වසාගත් පිරිස් පශ්චත්තාපයට පත්ව සිටිති. නිකවැරටියේ පහරදෙන්නන් අස්සේ ගොස් ඔවුන්ට කෑගසමින් පහරදීම් වළක්වාලන්නට උත්සාහ කළ පිරිස්වලට සමාජයෙන් ඇගයීම් ලැබෙමින් තිබේ.

කෙසේ වෙතත් ජීවිත තුනක ගමන අවසන් ය. ඒ ජීවිත තුන බේරාගන්නට අප අසමත් වී තිබේ. බලය පවත්වාගැනීමේ සහ බලය ලබාගැනීමේ කෘර මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක ය. එහි ඒජන්තයෝ තවදුරටත් ඉහළ පාර්ශ්වයන්ගෙන් මෙසේ අසමින් සිටිති. ‘ඊළඟට කරන්නේ කුමක්ද?‘

ශාලික විමලසේන