පටු දේශපාලන අරමුණු වලට සහය නෑ…… රට රකින් ජාතිමාමක බලවේග වලට සහයෝගය දෙනවා!

0

පටු දේශපාලන අරමුණු වලට එරෙහිව වන ජාතිමාමක බලවේග සමඟ ඕනෑම අවස්ථාවක එකට සිට ගැනීමට කැමති බව හිටපු අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

තමා විසින් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම ඇතුළු රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

  1. පාස්කු ප්‍රහාරයත් සමග බිඳ වැටෙමින් පැවති ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය රජයේ මැදිහත්වීම මත ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගෙමින් පැවතිණි. එසේම ඉතා කෙටිකලක් තුළ රටෙහි ආරක‍ෂාව තහවුරු කිරීමට ආරක‍ෂක අංශ සමත්විය. තත්ත්වය මෙසේ තිබියදී හදිසියේම අන්තවාදී සීමිත පිරිසකගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් නැවතත් රට 1983 වසරේ සිදුවූවාක් මෙන් ජාතිවාදී කෝලාහලයක් වෙත තල්ලූවීමේ ලක‍ෂණ පහළකරන්නට විය. මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වූයේනම් අප මාතෘ භූමිය ජාත්‍යන්තරය ඉදිරියේ ද අපකීර්තියට පත්වීමට ඉඩ තීබීම.
  2. සුළුතර පිරිසකගේ එම ක්‍රියාකලාපය හේතුවෙන් සමස්ථ මුස්ලිම් ප්‍රජාවගේ දේපළ සහ ජීවිතාරක‍ෂාව වෙනුවෙන් පැවති තර්ජනය.
  3.  පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක‍ෂණවලට මුස්ලිම් දේශපාලනඥයන් බාධා කරන බවට එල්ල වූ චෝදනා

යන හේතු නිසා තමා ඇතුළු මුස්ලිම් අමාත්‍යවරුන් සිය අමාත්‍යවලින් ඉල්ලා අස්වීමට තිරණය කළ බවයි ඔහු සඳහන් කළේ.

රටේ ආරක‍ෂාව තහවුරු කොට, ආර්ථීක කටයුතු යහපත්ව ඉදිරියට පවත්වාගෙන යෑමේත්, සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේත් පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව සිය ඉල්ලා අස්වීම ලබා දුන් බවත්  මුහුණු පොතේ සහ සමහර මාධ්‍යවල පළවූ වාර්තා මෙන් තමන්ට ඒ හරහා පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ චේතනාවක් නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

එසේම ගරුතර සංඝරත්නයේ අවවාද අනුශාසනා මත ඉදිරියේදිත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළා.