සියළු වෛරයන්ට එරෙහි මංගලගේ හෝරාව……..

4

සියලු අන්තවාදීන්ට, ජාතිවාදීන්ට සහ අවස්ථාවාදීන්ට එරෙහිව මාතර ජනතාව සංවිධානය කළ “අවෛරයේ හෝරාව” වැඩසටහන මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිට දී අද (10) පැවැත්වුණා.

මේ සඳහා මාතර ප්‍රදේශයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව ජාති ආගම් භේද පසෙකලා සහභාගී වී සිටීම විශේෂත්වයක්.

. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයත් ඊට පසු රට තුළ මතුවෙමින් පවතින සිංහල සහ මුස්ලිම් අන්තවාදයටත්, ඒ සියලු අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට උත්සහ දරන අවස්ථාවාදීන්ට එරෙහිව සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් එම ජනතාව උද්ඝෝෂණයක ද නිරත වූහ.

ඔවුන් දිරිමත් කරමින් පිරිස අතරට එක් වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේ ,

“මාතර කියන්නෙ අතීතයේ පටන් ම ආසාධාරණයට එරෙහිව නැගී සිටි මිනිසුන් හිටපු ප්‍රදේශයක්. ජාතිවාදීන්ට, ආගම්වාදීන් එරෙහිව මාතර ජනතාව ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන්  දිවි හිමියෙන් එදා ඉඳල පෙනී හිටියා.

අදත් රට තුළ වෛරය යළි වතාවක් වපුරවන්න ජාතිවාදය ආගම්වාදය අවුස්සන්න ඇතැම් පිරිස් උත්සහ දරද්දි මාතර ජනතාව පෙරට ඇවිල්ල ඔවුන්ගේ ම අදහස් අනුව “අවෛරයේ හෝරාව වැඩසටහන ආරම්භ කිරීමට පියවර ගත්තා. මම මාතර ජනතාවට ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා.

මාතර ජනතාවගෙන් 95%ක් සිංහල බෞද්ධයන්. ඔවුන් බුදුන්ගේ ධර්මය අනුව සියලු ජාතීන්ට මෛත්‍රිය පතුරවමින් නව ශ්‍රී ලංකාවක් කරා යන ගමන අද අපි මාතරින් ආරම්භ කරල තියෙනවා. අනාගත දූදරුවන්ට හිමි විය යුතු ආර්ථික සංවර්ධනය ලබා දෙන්න නං මේ වැඩසටහන මාතරට විතරක් සීමා නොකර රට පුරාම ක්‍රියාත්මක කරන්න ඕනෙ.

දෙවුන්දර තුඩුවේ ඉඳල පේදුරු තුඩුවට එනකං සෑම ජාතිකකම, ආගමකම ජනතාව නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.

අද එක පැත්තකින් ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙවුන්දර තුඩුවේ ඉඳල පේදුරු තුඩුව වෙනකං මුළු රටම ගම්පෙරළිය යටතේ සංවර්ධනය වෙමින් තියෙනවා. සංවර්ධනය ජාතියකට ආගමකට සීමා වෙලා නෑ. ඒ නිසා තමයි පන්සල්, කෝවිල්, පල්ලි සංවර්ධනයට ගම්පෙරළියෙන් මුදල් වෙන් කරල තියෙන්නෙ.

අනිත් පැත්තෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ නව ව්‍යසායකත්ව අපේක්ෂාවන් ඇති පිරිසට ඉදිරියට එන්න ශක්තිය දෙනවා. විශේෂයෙන් ම අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් අසරණ වෙලා ඉන්න සංචාරක ප්‍රදේශවල ජනතාවට අපි සහන මල්ලක් ලබා දීල තියෙනවා. මිරිස්ස, වැලිගම, මාතර ප්‍රදේශවල සංචාරක පොඩ්ඩන්ට අපි විශේෂ සහන දීල තියෙන්නෙ මේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේයි.

මේ මාතර නගරයට රැස් වෙලා සිංහල මුස්ලිම් ඇතුළු සියලු අන්තවාදයන්ට එරෙහිව ඔබ මේ ලබා දුන් ආදර්ශය ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රදේශවල ජනතාවට ලබා ගත යුතුයි.”



4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here